2018 ජනවාරි 27 වන සෙනසුරාදා

රට හමුවේ දණ ගසන ඌවේ මහ ඇමැති

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 379

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයට සිසුවියක් ඇතුළත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදුහල්පතිනියක දණ ගැස්සවූ බවට ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතාට චෝදනා එල්ල විය. ඊට එරෙහිව ගුරු සංගම් සිවිල් සංවිධාන හා ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. මැතිවරණ උණුසුම් සමයක හටගත් සිද්ධිය දේශපාලන වේදිකාවේ විවේචනය වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළේය. චෝදනාව සම්බන්ධයෙන් පුළුල් හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස හා එහිදී ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේ දැඩිවන විරෝධතා හමුවේය.

නව වසරේ පාසල් ආරම්භ වූයේ ජනවාරි 2 වැනිදාය. බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ආර්. භවානි මහත්මියට එදින කාර්යබහුලය. වෙලාව පස්වරු 1.15ට පමණය. ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ඔහුගේ ඥාතියෙක් වන මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු සමග ඇය හමුවට පැමිණියහ. ඔවුන් පැමිණ තිබුණේ ව්‍යාපාරිකයාගේ දියණිය පාසලට ඇතුළත් කර ගැනීමටය. ඒ වෙනුවෙන් පළාතේ ප්‍රධාන අමාත්‍ය පෞද්ගලික ලේකම් සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් අත්සන් කළ ලිපියක් රැගෙනවිත් තිබුණි. ඒ වනවිටත් 2018 වසරේ පළමු පංතියට දරුවන් තෝරා අවසන් කර නාම ලේඛනය ප්‍රසිද්ධ කර තිබුණි.

මෙහිදී විදුහල්පතිනිය පවසා ඇත්තේ දේශපාලනඥයන්ගේ ලිපිවලට දරුවන් ඇතුළත් කළ නොහැකි බවත් ලිපිය බදුල්ල පළාත් අධ්‍යාපන ලේකම්වරියට හෝ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට යොමුකර විසඳුමක් ලබා ගන්නා ලෙසත් නොමැතිනම් පළාත් අධ්‍යාපන ලේකම්වරියගෙන් ලිපියක් රැගෙන එන ලෙසත්ය. මෙසේ පවසා තිබුණේ ඇයට නියමිත චක්‍රලේඛවලට පිටින් කටයුතු කළ නොහැකි නිසාය. එම කතිකාව එතැනින් අවසන් කෙරිණි.

පසුදින ජනවාරි 3 වැනිදාය. ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මියගෙන් ආර්. භවානි මහත්මියට දුරකථන ඇමතුමකි. ඉන් දන්වා තිබුණේ මහ ඇමැතිවරයා හමුවන ලෙස පණිවුඩයකි. රාජකාරි අධිකවීම හේතුවෙන් අවස්ථාව අමතකව තිබියදී යළිත් දුරකථන ඇමතුමකින් අඹන්වල මහත්මිය කාරණය දැන්වූවාය. ඒ අනුව විදුහල්පතිනිය සිය පාසලේ ගුරුවරියක සමඟ පළාත් සභාව වෙත ගොස් තිබුණේ මහ ඇමැතිවරයා හමුවීමටය. මහ ඇමැතිවරයා එහි නොසිටි බැවින් සහකාර අධ්‍යාපන ලේකම්වරියක් ඇයට දන්වා තිබුණේ මහ ඇමැති හමුවීමට නිල නිවෙස වෙත යන ලෙසය. එහිදී වූ සිදුවීම පිළිබඳව බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය මෙසේ කීවාය.

“මම නිල නිවසට ගියා. පළාත් අධ්‍යාපන ලේකම්වරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුන්දෙනාත් එතන හිටියා. එතනදී මහ ඇමැතිවරයා කීවා ඔයාට මොකටද මගේ සුදුසුකම්? මගේ සුදුසුකම් බලලා තමයි මට මහ ඇමැතිකම දීලා තියෙන්නේ” මට ඒක තේරණේ නෑ. “ඔයා ආණ්ඩුකාරතුමාට පාට් දැම්මට මම යටත් වෙන්නේ නෑ. මම ඔයා ගැන හොඳට දන්නවා කීවා” ඒකත් මට තේරුණේ නෑ. ඊට පස්සේ “මේ වගේ විදුහල්පතිවරු ඇයි තියාගන්නේ? මෙයා ඈත පාසලකට දාන්න“ කියලා ඇමැතිතුමා කීවා. ඒකට අධ්‍යාපන ලේකම්තුමිය හා කීවා. එයාලා සේරම මට ලජ්ජා කළා. එයාලා මට කතා කරපු විදිහට මම බය වුණා. ඒ බයට මම සමාවෙන්න කියලා දණ ගසා වැන්දා. ඊට පහුවැනිදා දවල් මේ සිද්ධිය රූපවාහිනියක ප්‍රවෘත්තිවලට කියලා. මම දන්නෙත් නෑ. එදත් ලේකම්තුමිය මාව ගෙන්නුවා. මාව මාරු කරන්න කියන්නේ සෙන්දිල් තොණ්ඩමන් ඇමැති. මහ ඇමැතිතුමා කැමතියි ඔයා තියාගන්න. ඔයා ඇමැතිතුමාට වැන්දෙ නෑ කියන්න. පාසලේ කටයුතු සාකච්ඡා කළා පමණයි. ඇමැතිතුමා බැන්නේ නෑ කියලා එතනදී මීඩියාවලට වොයිස් කට් එකක් දෙන්න කීවා. මට සිංහල කතා කරන්න අමාරුයි. මීඩියාවල දෙන්නෙක් මට කතා කරන විදිහ කියලා දුන්නේ. එයාලා බලෙන් මගෙන් වොයිස් කට් ගත්තේ. පොලීසියේදීත් වැඳපු කතාව කියන්න එපා කීවා. ඒක අගෞරවයක්නෙ කියලා මම සමාව ඉල්ලුවා කියන්න කීවා. ඒක කීවේ පොලීසියේ ඉල්ලීමට.”

සිදුවීම පිළිබඳව ඌව පළාත් මහ ඇමැතිවරයාගෙන් විමසීමක් කළද ඔහු ඊට ප්‍රතිචාර දක්වන්නට ඉදිරිපත් වූයේ නැත. එහෙත් ඊට පෙර ඔහු මාධ්‍යට මෙසේ අදහස් දක්වා තිබුණි.

“අදාළ චෝදනාව සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස දන්වා එම කටයුතු අවසන් වනතෙක් මම ඌව පළාත් අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුණා. මේ චෝදනාව සම්බන්ධයෙන් මම 12 වැනිදා බදුල්ල පොලීසියට ගිහින් පොලිස් අධිකාරීවරයා ඉදිරියේ පැමිණිල්ලක් සටහන් කළා. ඊට අමතරව මගේ කීර්ති නාමය විනාශ කරමින් මගේ දේශපාලන ව්‍යාපාර ද මගේ ප්‍රතිරූපය ද කෙළෙසමින් මට බොරු චෝදනා එල්ල කරන ඌව පළාත් සභාවේ ජ.වි.පෙ. මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, ලංකා ගුරු සේවා සංගමයේ හපුගොඩ, වරුසමාන යන අයට එරෙහිව මිලියන 500ක් වන්දි ඉල්ලලා එන්තර වාසියක් යවලා තියෙනවා.” යනුවෙනි.

විදුහල්පතිනිය සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් ලබා දීමට පොලීසියට කැඳවූ පසුව ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කෙරිණි. අනතුරුව බදුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් ඇගේ කට උත්තරය සටහන් කළේය. මේ සිදුවීම වූයේ පසුගිය 21 වැනි දිනය. බදුල්ල පොලීසිය වෙත පැමිණි චාමර සම්පත් දසනායක මහතා අත්අඩංගුවට ගෙන ඉහත කී චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය.

මේ අතර ඌව අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, බදුල්ල පොලිස් ස්ථානාධිපති, පළාත් සභාවේ සේවකයන් වන මාධ්‍යවේදීන් තිදෙනකුට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් නොතීසි නිකුත් කර තිබුණි.

 

I සමන්ත ප්‍රදීප් විල්තෙර

අනුමත කරන්න බෑ
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - ජාතික සංවිධායක

“ඌව පළාත් මහ ඇමැතිවරයාගේ ක්‍රියාව කිසිසේත්ම අනුමත කරන්න බෑ. පාසලකට ඇතුළත් කිරීමේදී අසාධාරණයක්වෙලා තිබෙනවා නම් අදාළ නිලධාරීන් හරහා පරීක්ෂණයක් සිදුකළ හැකියි. නිලධාරියෙක්ට රාජකාරී සඳහා කාර්යාලයක් තිබෙනවා නම් ඒ සඳහා කිසිවෙක් නිල නිවෙසට කැඳවීම අනවශ්‍ය දෙයක්. මහ ඇමැතිවරයා පිළිබඳව සිදුකරන විමර්ශන කටයුතු ස්වාධීනව සිදුවිය යුතුයි. ඒ වෙනුවෙන් පළාත් අධ්‍යාපන විෂය භාර තනතුරෙන් මහ ඇමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිතුමන් විසින් ගත් තීරණය යහපත් එකක්. මැතිවරණ සමයක් තුළ මේ සිදුවීම වාර්තාවීම නිසා ඇතැම් අය මේ තත්ත්වය දේශපාලන වාසියට හරවාගෙන තිබෙනවා.”

හෙංචයියන්ගේ වැඩ නොකළට විදුහල්පතිතුමිය දණගැස්සුවා
සමන්ත විද්‍යාරත්න පළාත් සභා මන්ත්‍රී - ජනතා විමුක්ති පෙරමුණ

“ඌව පළාත් මහ ඇමැතිගේ පළමු හැසිරීම මෙය නෙවේ. දවසක් ආණ්ඩුකාර කාර්යාලයේ ඩෙඟා නැටුවා. ඌව පළාත් සභාවේ මූල්‍ය අංශයේ ලේකම්වරිය තනතුරෙන් පහකෙරුවා. ඌව පරණගම ප්‍රාදේශීය ලේකම්වරයා මාරු කරන්න හැදුවා. බදුල්ල මහ නගර සභාවේ කොමසාරිස්වරයා මාරු කළා. මොහු පළාත් සභාවේ ගිණුම්වලට ලැබිය යුතු මුදල් විවිධ පදනම්වලට දැම්මා. මේ වගේ අකටයුතුකම් කරන කෙනෙක් තමයි මොහු. මේ ගුරුවරිය ඇමැතිට වඩා වැඩිමහල් දමිළ කාන්තාවක්. ඇයට පරුෂ වචනයෙන් බැණලා තියෙනවා. මරණ බයට දණ ගහලා වැඳලා සමාව අරගෙන. හේතුව තමයි මහ ඇමැතිගේ හෙංචයියෙක්ගේ ළමයෙක් ඉස්කෝලෙට දාන්න ලිපි දීම. එයත් වරදක්. අනෙක ගුරුවරිය තමන්ගේ නිල නිවාසයට ගෙන්වා පීඩාවට පත් කිරීම වැරදියි. එතුමිය එළියට එද්දී බිය වද්දලා මාධ්‍ය ප්‍රකාශයක් ලබා ගැනීම බරපතළයි. මේකට හවුල්කාරයෝවෙලා ඉන්නවා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරිය, ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා. මේ අය මහ ඇමැතිවරයා සුද්ද කරන්න හදනවා. දැනට අවශ්‍ය නීති ක්‍රියාත්මක කරලා පොලීසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා. හැබැයි මෛත්‍රී ආණ්ඩුව මේක සඟවලා දේශපාලන වාසි ගන්න හදනවා.”

පිළිකුලෙන් හෙළා දකිනවා
සෙන්දිල් තොණ්ඩමාන් ඌව පළාත් සභා අමාත්‍ය - ලංකා කම්කරු කොංග්‍රසය

“ඌව මහ ඇමැති සහ විදුහල්පතිනිය අතර ගැටලුව ජාතීන් දෙකක් අතර ගැටුමක් බවට අර්ථ දක්වන්නට සමහර දේශපාලනඥයින් උත්සාහ කරනවා. එය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ළමයි 20ක් දාන්න තියන පංතියකට ළමයි 21ක් දාන්න බෑනේ. මහ ඇමැති එහෙම දාන්න කියනවා නම් වැරදියි. මහ ඇමැති දුන්නා කියන ලියුම විදුහල්පතිනිය විසි කළානම් වැරදියි. විදුහල්පතිනිය එහෙම කරලා පස්සේ ඇවිත් මහ ඇමැතිගෙ කකුල අල්ලලා සමාවෙන්න කියනවා නම් අපි ඒකත් හෙලා දකිනවා.”

“පිම්පි” රාජ්‍ය නිලධාරිනුත් අත්අඩංගුවට ගන්න
රජිත් කීර්ති තෙන්නකෝන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක

“ගුරුවරියක් දණගස්සවා මහ ඇමැතිවරයා සිදුකර ඇත්තේ අපරාධමය වරදක්. ඒ නිසා ඔහු අධ්‍යාපන ඇමැතිකමෙන් ඉල්ලා අස්වීම වරදට දඬුවමක් නෙවේ. මහ ඇමැතිවරයාට මේ ක්‍රියාව සඳහා සහාය දක්වපු (පිම්පි) රාජ්‍ය නිලධාරීන් ද අත්අඩංගුවට ගත යුතුයි. ගුරුවරියට අනවශ්‍ය බලපෑම් සිදුකරමින් බොරු ප්‍රකාශ ලබාගැනීමට උත්සාහ කළ පිරිසත් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. ඌව පළාත් සභාවෙන් වැටුප් ලබන මාධ්‍යවේදීන් බව හඟවන පිරිසක් යොදාගෙන බලහත්කාරයෙන් ප්‍රකාශ ලබාගෙන ජනමාධ්‍ය වෙත ඉදිරිපත් කර තියෙනවා. එම ව්‍යාජ මාධ්‍යවේදීන් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටත් අදාළ ජනමාධ්‍ය ආයතනවලටත් දන්වලා තියෙනවා. ඒ වගේම අදාළ සිද්ධිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට, පොලිස්පතිවරයාට සහ ජාතික පොලිස් කොමිසම වෙතත් පැමිණිලි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.”

නිලධාරීනුත් දේශපාලනයට යටවෙලා
ජෝසප් ස්ටාර්ලින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්

“ගුරුවරිය දණ ගැස්සවීමට එරෙහිව රට පුරා උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙනවා. නමුත් පොලීසියට බාර වූ මහ ඇමැතිවරයා අත්අඩංගුවට ගත්ත පොලීසිය ඇප ලබා දියහැකි වගන්ති යටතේ ඔහු අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ. ජනතා උද්ඝෝෂණ මහජන කැළඹිලි නෑ කියලා තමයි අධිකරණයට දන්වලා තියෙන්නේ. පොලීසිය තොරතුරු සඟවලා. ගුරුවරිය මහ ඇමැතිවරයා ළඟට යවලා තියේනේ පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින්. 3 වැනිදා එහෙම කරලා 9 වැනිදා බොරුවට මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කළේත් ඔහුමයි. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ බලපෑමත් ගුරුවරියටයි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ 19 වැනිදා පාසලට ගිහින් ලොග් සටහන් පවා වෙනස් කරන්න උත්සාහ කරලා තියෙනවා. මේ විදිහට විදුහල්පතිතුමිය රැකගත යුතු අය දේශපාලනඥයන්ට අවශ්‍ය විදිහට හැසිරීම රටේ අධ්‍යාපනය පිළිබඳ බරපතළ ගැටලුවක්.”

මහ ඇමැති අත්අඩංගුවට ගැනීම නාටකයක්
ප්‍රියන්ත වරුෂමාන ඌව පළාත් ලේකම් - ලංකා ගුරු සංගමය

“මේ සිද්ධියේදි ආණ්ඩුව කටයුතු කළේ මහ ඇමැතිවරයාට කිසිඳු ජනතා බලපෑමක් නැති විදිහටයි. ඇත්තම කාරණය මේ සිදුවීම ආණ්ඩුවට බලපෑමක්. ඒ නිසයි මහ ඇමැති අධ්‍යාපන ඇමැතිකමින් විතරක් ඉවත් කළේ. නමුත් මහ ඇමැතිකම එහෙමමයි. තිබුණු බලතල එහෙමමයි. අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසක් හිටිය අයමයි. ඒවා නිවැරදි වෙලා නෑ. මේක පරීක්ෂණවලට ප්‍රධාන බාධාවක්. පොලීසිය අත්අඩංගුවට ගත්ත ඇමැතිවරයා පැය එකහමාරෙන් උසාවියෙන් ඇප ලබනවා. එදා දවසේ සියල්ල කළේ සැලසුම් සහිත පිටපතකට අනුවයි. ඔවුන් උසාවිය දෙන තීරණය පවා දැනගෙන හිටියා.”